Monday, August 22, 2011


අනාගත අස්වැන්න වෙනුවෙන් අස්වද්දන්නට අලුත් බිම් මතු කළ
මෙවර  DSI වොලිබෝල්   



වයස් ඛාණ්ඩ හතරකින් දිවයිනේ දක්ෂතම බාලක සහ බාලිකා පාසල් වොලිබෝල් කණ්ඩායම් කවරේද යන්න තීරණය කිරීම සදහා පවත්වනු ලබන ඩීඑස්අයි වොලිබෝල් තරගාවලියේ සූරතා දෙකක් මාදම්ප සේනානායකය ට හිමි වූ අතර සූරතා දෙකක් හිමි වූයේ රක්වාන කැන්දපොල විද්‍යාලයට ය.එම පාසල් වලින් කණ්ඩායම් දෙක බැගින් අවසන් තරග සදහා පිවිසි අතර එම කණ්ඩායම් දෙකම සූරතාවය ද අත් කර ගත්හ.මෙවර  වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් අවසන් තරග සදහා පිවිසියේ නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයෙන් වුව ද ඒ කිසිදු කණ්ඩායමකට සූරතාවයක් ලබා ගැනීමට නොහැකි වීමත් කැපී පෙණින.


අන් වසර වලදී මෙම තරගාවලියේ වයඹ ආධිපත්‍යය කැපී පෙනෙණ අතර නමුත් මෙවර අවසාන තරග සදහා වැඩි වයඹ කණඩායම් ප්‍රමාණයක් පෙනී සිටිණු දක්නට ලැබුණ ද සූරතා දිනා ගන්නට ලැබුණේ මාදම්ප සේනානායක විද්‍යාලයට සහ ආනමඩුව මධ්‍ය විද්‍යාලයට පමණි.මෙම ලක්ෂණයෙන් පැහැදිළි කරන්නේ වයඹ බිද වැටීම ඉක්මවා ගිය රටේ පාසල් වොලිබෝලයේ ව්‍යාප්තිය ලෙස ගතහොත් ඩීඑස්අයි වොලිබෝලය මේ රටේ පාසල් වොලිබෝලය වර්ධනාත්මක දිශාවකට  යොමු කිරීම සදහා කර ඇති බලපෑම පිළිබදව සතුටු වන්නට පුළුවන.


එසේම මේ වොලිබෝල් ප්‍රවාහය මේ රටේ සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් වෙනස් කරන සහ ඒවාට සාධනීය මට්ටමෙන් අළුත් ගමණක් කෙරෙහි  බලපෑම්  ඇති කරන කාර්යාවලියක් බවට ද පත් වෙමින් තිබෙනු දක්නට  ලැබෙන්නේය. දෙනියාය ද්වී භාෂා පාසලක් වන ශාන්ත මැතිව් විද්‍යාලයේ  ෆාතිමා හුස්නියා එවන් එක් උදාහරණයකි.රාමසාන් උපවාසයේ යෙදෙන අතරේම අවුරුදු 16 න් පහළ අවසාන තරගයට සිය විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් ඇය තොඩුවාව ශාන්ත අන්තෝනියට එරෙහිව තරග වැදුනාය. එ’පමණක් නොව ඒ මුස්ලිම් දියණිය තරගයේ දක්ෂතම පන්දු සකසන්නිය බවට ද පත් වූවා ය.මේ රටේ ලාංකේය අනන්‍යතාවය විවිධ ජාති,ආගම් කුල ආදි ප්‍රාථමික ග්‍රෝත්‍රික ලක්ෂණ වලින් බැට කෑම වළක්වනු පිණිස වොලිබෝලයෙන් යෙදුණු සාර්ථක ආවරණයක් ලෙස ෆාතිමා ගේ මේ දක්ෂතාවය දැකිය හැකිය.


එසේම බෞද්ධ භික්ෂුව ජාතික තලයේ බොහෝ කාර්යයන් වලදී තීරණාත්මක සාධක බවට පත් වෙද්දී සාධු කාර දුන් ජනී ජනයාට වොලිබෝලයේ අනාගතය ද සාධුකාරයෙන් පිළිගන්නට සිදුවන්නට හැකි බව පැහැදිළි වෙමින් ඇත.මෙවර කණ්ඩායම් ගණනාවක් සමගම බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ.ඒ සංස්කෘතියේ පුරෝගාමියා ලෙස රත්නපුරෙන් බොහෝ ඈත රක්වාන ප්‍රදේශයේ අති දුෂ්කර ගමක් වන කැන්දපොළ පාසල ජාතික මට්ටමේ වොලිබෝල් පිටියට කැදවාගෙන පැමිණි පුස්සැල්ලේ පඤ්ඤාතිලක හිමි යෝ ගරු බුහුමනට ලක් විය යුතු වන්නාහ.එපමණක් නොව තෙවසරකට පෙර වූ උන් වහන්සේගේ පුහුණුකරු ප්‍රවේශයේ උපරිමයට මෙවර පිවිසෙමින් කැන්දපොල විද්‍යාලයට සූරතා දෙකක්ම රැගෙන යන්නටත් උන් වහන්සේ ප්‍රමුඛත්වය ගත්තේය.
දේශයේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන ඩීඑස්අයි සමාගම මේ තරගාවලියට දායක වුව ද මේ රටේ පවතින දේශපාලන සමාජ සංස්කෘතියේ ඛේදවාචකයේ උරුමය මෙම තරගාවලිය හරහා ද සම්පත් ව්‍යාප්තියේ විශමතාවයන් ප්‍රදර්ශනය කරමින් හදුන්වා දුන්නේ අවසාන තරගවලදී ද පාවහන් වලින් තොර නිරුවත් දෙපා දක්වමින් ය.
“අපි සපත්තු දුන්නා.ඒත් දාන්න ඒ ලමයිට හුරු නැහැ.අපි පාවහන් සමාගමක් නිසා මේ විදිහට සපත්තු නැති දරුවො දකින කොට බලන අයට අපි ගැන වැරදි හැගීමක් ඇති වෙන්න පුළුවන්.නමුත් අපි මේ අනුග්‍රාහකත්වය දක්වන්නේ වොලිබෝලයට.එතැනදි අපි මුල් තැන දෙන්නෙ මේ දරුවන්ගෙ වොලිබෝල් හැකියාවන් වලට.ඒ නිසා අපි ට වන හානිය ගැන සිතන්න ඉස්සෙල්ලා ඒ ළමයි ට හුරු විදිහට මේ තරගයේ ඉහළම දක්ෂතාවය දක්වන්නයි අපිට ඕනි.”


අපිට අවුරුදු 12 න් පහළ බාලක අවසාන තරගයේ දී අනුරාධපුර මැදවච්චිය ගාමිණී මහා විද්‍යාලීය දරුවන් ගේ නිරුවත් දෙපය විසින් ඇතිකළ ගැටළුව ඩීඑස්අයි සමාගමේ අරුණ සේනානායක ඉදිරියේ තැබූ විට ලද පිළිතුර එබදු විය.ඔහු තවත් දේ කියමින් අපි ව අතීතයට රැගෙන යයි.ඒ මතකය අප සිත් තුළ ද අවදි වෙයි.එයින් හොදම උදාහරණය අපි නෙලා ගතිමු.
“මීට තෙවසරකට පෙර පළමු වතාවට කැන්දපොළ විද්‍යාලීය දැරියන් අවුරුදු 12 න් පහළ සූරතාවය දිනා ගනිද්දී ද සිටියේ නිරුවත් දෙපයෙන් ය.ඒ දැරියනට ද පාවහන් ලැබී තිබිණ.නමුත් ඒ කුඩා දෙපා වලට මිරිවැඩි හුරු නොවිණි.සිගිති දෑත්වලට හුරුව තිබූ වොලිබෝලයෙන් ඔවුන් රටේම එක බවට පත් විය.දැන් ඔවුන්ගේ දෙපයට පාවහන් ද වොලිබෝලය තරමට හුරු වී ඇත. ඒ නිසා මෙම තරගාවලිය වොලිබෝල් ඉක්මවා ගිය තවත් ජාතික වගකීමකට ද අහඹු ලෙස දායකවන තරගාවලියක් වෙමින් තිබෙන බව පැහැදිළිය.”


මෙවර තරගාවලියේ දී විනිසුරු පීඨීකා මත අළුත් මුහුණු දකින්නට ලැබිණ.තරග උණුසුම සමග යම් යම් අතපසුවීම් මතුවීම මෙන්ම ජයග්‍රහණය සදහා මතුවන බලපෑම් ද මෙහිදී ද දක්නට ලැබුණ ද යම් ඉහළ මට්ටමකින් අනාගත විනිසුරු භූමිකාවේ ලාංකේය දායකත්වය ද සතුටුදායක තත්ත්වයක පැවති බව පැහැදිළි විය.ඒ නිසා එවැනි අභයෝගාත්මක තීරණයකට පිවිසි ප්‍රධාන විනිසුරු ප්‍රියන්ත සෙනවිරත්න ගේ දායකත්වය ද මෙම තරගාවලියේ දී ඇගයීමකට ලක් විය යුතුය.


දැඩි අභියෝග මැද වොලිබෝලය පවත්වා ගෙන යන ග්‍රාමීය පාසල් වල දරුවන්ගේ වොලිබෝල් ප්‍රහාරවලින් ආලෝකය ලබන්නට ඒ, ඒ ප්‍රදේශවල  දේශපාලනඥයෝ ද පැමිණ සිටියහ. ඒ අය ගේ දිරිගැන්වීම් ද එහි දී කැපී පෙණින.නමුත් ඒ උදයෝගය හරහා දුප්පත් දරුවන්‍ පෝෂණය හිග සිය සිරුරු පරයා හිතේ ශක්තියෙන් නිසි ඉලක්කයේ පතිත කරවන පන්දු ප්‍රහාර වලින් තම දේශපාලන ජීවිතවල පෞද්ගලික පරමාර්ත ද ජන හදවත් තුළ පතිත කරවීමට ගන්නා උත්සාහයකින් මිදුණු, ඒ දරුවන් සහ වොලිබෝලය කෙරෙහි ඇති කරගත් සැබෑ ප්‍රේමයක් ද පවතීනම් ‍හෙට පාසල් වොලිබෝලයේ ප්‍රගතියට හෙවත් අනාගත වොලිබෝල යේ අභිවෘද්ධිය පිණිස කරනු ලබන දායකත්වයේ දී  ඩීඑස්අයි හුදෙකලා නොවනු ඇත.ඔවුන්ට තවත් ශක්තියක් ලැබෙනු ඇත.
පහත දැක්වෙන්නේ මෙවර තරගාවලියේ තරගකාරී අභියෝග කණ්ඩායම් වශයෙන් ජය ගත් පාසල් කණ්ඩායම් සහ පෞද්ගලිකව කැපී පෙනෙමින් ඇගයීමට පත්  ලාංකේය වොලිබෝල් අනාගතය සුගන්ධවත් කරනු පිණිස සුපුෂ්පිත වීමට නියමිත කැකුළු මල් වල නාම ලේඛණය ය.

අවුරුද 12 න් පහළ බාලක සූරතාවය
1.විජයබා ජාතික පාසල - හුංගම
2.ගාමිණී මහා විද්‍යාලය
දක්ෂතම ක්‍රීඩකයා -තරුන් මධුෂංක, හුංගම විජයබා ජාතික පාසල
අවුරුදු 12 න් පහළ බාලිකා සූරතාවය
1.කැන්දපොළ විද්‍යාලය - රක්වාන
2.ධම්මිස්සර විද්‍යාලය -නාත්තණ්ඩිය

දක්ෂතම ක්‍රීඩිකාව -උදේශිකා මනෝරි අතුකෝරළ,කැන්දපොළ විද්‍යාලය

අවුරුදු 14 න් පහළ බාලක සූරතාවය
1.රාජසිංහ ම.ම.වි -රුවන්වැල්ල
2.ධම්මිස්සර විද්‍යාලය - නාත්තන්ඩිය
දක්ෂතම පන්දු සකසන්නා -සහන් දිලීප කුමාරගේ , රාජසිංහ ම.ම.වි.
දක්ෂතම ප්‍රහාරකයා -ඒආර්එස් සුභසිංහ ,ධම්මිස්සර විද්‍යාලය
දක්ෂතම ක්‍රිඩකයා - රවිශාන් ගුණරත්න ,රාජසිංහ ම.ම.වි.
අවුරුදු 14 න් පහළ බාලිකා සූරතාවය
1.කැන්දපොළ විද්‍යාලය - රක්වාන
2.කුමාරිගම විද්‍යාලය - උහන
දක්ෂතම පන්දු සකසන්නිය - ඒඩීඒඑම් මධුවන්ති ,කැන්දපොළ විද්‍යාලය
දක්ෂතම පන්දු ප්‍රහාරිකාව -කේජීපී අප්සරා ,කුමාරිගම විද්‍යාලය
දක්ෂතම ක්‍රීඩිකාව - පීජීපී අප්සරා ,කැන්දපොළ විද්‍යාලය
අවුරුදු 16 න් පහළ සූරතාවය
1.සේනානායක මධ්‍ය විද්‍යාලය - මාදම්ප
2.දවිසමර විද්‍යාලය - සීදුව

දක්ෂතම පන්දු සකසන්නා - එම්එස් ශ්‍රීමාල්,  සේනානනායක විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරකයා -ඒඩී සදරුවන්, සේනානායක විද්‍යාලය
දක්ෂතම ක්‍රීඩකයා -සී සදරුවන්,දවිසමර විද්‍යාලය

අවුරුදු 16 න් පහළ බාලිකා සූරතාවය
1.දෙනියාය ශාන්ත මැතිවි ද්වීභාෂා පාසල - දෙනියාය
2.ශාන්ත අන්තෝනි විද්‍යාලය - තොඩුවාව
දක්ෂතම පන්දු සකසන්නිය -ෆාතිමා හුසුනියා ,ශාන්ත මැතිව් දක්
දක්ෂතම ප්‍රහාරිකාව -එච්ඒඑම් සලිදුනී ,ශාන්ත අන්තෝනි
දක්ෂතම ක්‍රීඩිකාව -ඒඑල්ඒඒ සදමාලි ,ශාන්ත මැතිව්
අවුරුදු 18 න් පහළ බාලක සූරතාවය
1සේනානායක මධ්‍ය විද්‍යාලය - මාදම්ප
2.ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය - නාත්තන්ඩිය
දක්ෂතම පන්දු සකසන්නා -එස්.සම්පත් ,සේනානායක විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරකයා -අයි. විමංසන ,ධම්මිස්සර විද්‍යාලය
දක්ෂතම ක්‍රීඩකයා - එස්. තමෙල් , සේනානායක විද්‍යාලය
අවුරුදු 18 න් පහළ බාලිකා සූරතාවය
1.ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය - ආනමඩුව
2.අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය - අනුරාධපුරය
දක්ෂතම පන්දු සකසන්නිය - එස් චාරුනී ,ආනමඩුව විද්‍යාලය
දක්ෂතම ප්‍රහාරිකාව -කේටී වාසනා ,ආනමඩුව විද්‍යාලය
දක්ෂතම ක්‍රීඩිකාව -ඒඒඑස් මංසලා ,ආනමඩුව විද්‍යාලය

තරගාවලියේ  දක්ෂතම ක්‍රීඩකයා - එස් තමෙල්, සේනානායක විද්‍යාලය
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව -කේටී වාසනා ,අ‍ානමඩුව විද්‍යාලය